මහාචාර්ය සුචරිත ගම්ලත් දිවියෙන් සමු ගනී.............


ප්‍රවීන ශාස්‌ත්‍රඥයකු, අදීන විචාරකයකු සහ විද්වත් සමාජ ක්‍රියාකාරිකයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වියෝව පිරවිය නොහැකි හිස් තැනක් ඇති කොට ඇති බව විද්වත්හු පවසති.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවකම සිංහල අංශවල සේවයක කළ මහාචාර්ය ගම්ලත් යාපනය විශ්ව විද්‍යාලය බිහිවූ අවස්තාවේදී එහි සිංහල භාෂා අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කෙරිණ.

සබැඳි තේමා
කාලීන පුවත් , ශ්‍රී ලංකාව
"1977 දී දෙමළ ජනතාව විසූ ප්‍රදේශයකට පළමු වතාවට ගමන් ගත් සිංහල කථිකාචාර්යවරුන් වූ, මටත්, ධර්මසේන පතිරාජටත් - මහාචාර්ය සුචරිත ගම්ලත් පරමාදර්ශී චරිතයක් විය," ඔහු සමග යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රකාශ කළේය.

දශක එකහමාරකට වැඩි කලක් ගී මිනි ආර සංදේශයේ ගලා යාමට සලස්වමින් පඬිවර සුචරිත ගම්ලත් සුවහසක් ශ්‍රාවක පිරිස් අතරට සුභාවිත ගීතයේ රස පහදා දුන්නේය.

"1977 දී දෙමළ ජනතාව විසූ ප්‍රදේශයකට පළමු වතාවට ගමන් ගත් සිංහල කථිකාචාර්යවරුන් වූ, මටත්, ධර්මසේන පතිරාජටත් - මහාචාර්ය සුචරිත ගම්ලත් පරමාදර්ශී චරිතයක් විය"
මහාචාර්ය සුනිල් ආරියරත්න
වියතුන් හා ප්‍රභූන් අත ආභරණයක් වූ සාහිත රස වින්දනය පොදු ජනතාව අතරට ගෙන ඒම ජීවිතයේ ප්‍රමුඛ ඉලක්කය කොට ගත් පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර හසල මේ මහා පඬිවරයා ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමේ මාර්ගය ලෙස දුටුවේ කම්කරු පන්ති බලයයි.

එය ලේඛනයට දේශනයට සීමා නොකළ ඔහු ක්‍රියාකාරීව වාමාංශික දේශපාලනයේ නියැලී සිටියේය. විශ්ව විද්‍යාල පරිපාලනය ගැන රාජ්‍යයේ මර්ධනකාරී ක්‍රියාකාරිත්වය නිබඳව ප්‍රශ්න කළ මහාචාර්ය ගම්ලත් අවුරුදු ගණනාවක්ම සේවය අත්හිටුවා විශ්ව විද්‍යාලයෙන් 1979දී පිටමන් කෙරිණ.

ජීවිතයේ සැන්දෑ සමයේ අසනීපව රෝහල් ගතව සිටි මහාචාර්ය ගම්ලත් කළ ශාස්ත්‍ර සම්ප්‍රදාන අතර අග්‍රස්තානයේ ලා ගැනෙන්නේ 2009 දී මුද්‍රණද්වාරයෙන් එලි දුටු ඉංග්‍රීසි සිංහල මහා ශබ්ද කෝෂයයි.

සිය ජීවිත කාලයෙන් හතරෙන් පංගුවකට වැඩි කලක් එම කටයුත්ත වෙනුවෙන් වැය කළ ගම්ලතුන් ඒ හා සමගම එළඹ සිටි අනෙක් මහා ශාස්ත්‍ර කාර්යය සිංහල - දමිළ - ඉංග්‍රීසි ත්‍රෛ භාෂා ශබ්ද කෝෂයයි.

ඔහු හා ඒ කටයුත්තේ නියැලී මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි මෙයින් දෙවසරකට පෙර සදහටම නික්ම ගියේය.

අසනීපයෙන් සිටියත් එම මහා කාර්යය නිම කොට සිටි මහාචාර්ය ගම්ලත්, එය මුද්‍රණද්වාරයෙන් එලි දැක්වීමට සම්පත් නැති කමින් මහත් තැවුලට පත්ව සිටියේය. අප හා කී පරිදි රජයෙන් අනුමත ප්‍රතිපාදන තිබුනත්, ඒ මුදල ලබා ගන්නා මගක් ඔහුට පාදා දුන් කිසිවෙකු වුයේ නැත.

විශ්ව විද්‍යාල සිසුන් දහස් ගණනකට ශිල්ප ඥානය කළ මහාචාර්යවරයා විටෙක ආක්‍රමණශීලී කරුණු දැක්වුවත් බොහෝ දෙනකුගේ සිත් ගත් චරිතයක් විය.

Comments