මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නො ආවේ



'මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ'


'සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ'


'දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ'


ප්‍රේමය අත් විදින්නෝ සිය ජීවිතවල ගැඹුරින් ප්‍රේමයේ සංහිදියාව තැන්පත් කරගනිද්දී  ප්‍රේමයෙන් පරාජිත වුවෝ අහිමි වී ගිය ප්‍රේමය කටුක මතක සැමරුම් බවට පත් කර ගනී. ඒ වෙනුවෙන් වැලපෙති. අහිමි වී ගිය මිහිර පතා හඬා වැටෙති  .
මිනිසුන් වූ අප සියල්ලෝ  ජිවිතයේ විවිධ වූ යුගයන් පසු කරන්නාහුය . මේ එක්තරා යුගයකි .. මේ ගෙවී ගොස් ඇත්තේ එසේත් නොමැතිනම් ගෙවී යමින් පවතින්නේ ජිවිතයේ වසන්ත කාලයයි . සොඳුරු වූ වසන්තය අග කටුක  ගිම්හානය අත වනන බව ඔවුහු දනිති .

'මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ'


වසන්තයේදී  ලොව සෑම සජීවී වස්තුවක්ම මල්වර වේ .
එහි මිහිර වසන්තයේ ඇර වෙනදු කාලයක ලබනු නොහැකිය.
මේ ලෝක නියාමය මා දනිමි .
ඉතින් ප්‍රේමය නුඹ,වසන්තය ගෙවී යන තෙක්ම නොපැමිණියේ මන්ද ...
දැන් ඉතින් මා හට,
හුදකලාවේ වේදනාවත් සමග කටුක ගිම්හානයේ ගිලන්ව සිටීමට සිදුවෙයි .

'සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ'


ප්‍රේමයෙන් මුසපත් වන්නන්,පෙරනොවූ විරු පුද්ගලයන් බවට පත් වෙති . 
ප්‍රේමයට කළ නොහැකි දෙයක් මේ ලොව තුල  තිබේද ...
මේ සත්‍යයෙන් .. මමද මගේ ජිවිතයේ සැබැ වූ වෙනසක් බලාපොරොත්තු වීමි ...
දැන් ඉතින් මා සමග කුලුපගු වූ සියලු සිතුවිලි 
බිඳී ඉහිරී ළතැවිලි  බවට පත්ව නිදහසේ සැරි සරන්නට පටන් ගෙන ඇත .
අහිමි වී යන වසන්තේ මිහිර ඇස් මානයේ දකින්නටවත් 
මා හට ඉඩක් නැත්තේමය ....

'දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ'


ගිම්හානයේ පුදුම උණුසුම් ..
වසන්තයේ අග , ගිම්හානයේ මුල . මේ සංක්‍රාන්ති කාලයක් .. 
දැන් ,අහිමි වූ වසන්තයේ මිහිර විඳවමින් ගිම්හානයේ ජිවිතයට හුරු වන්නට සුදානම් විය යුතුය .
හිම්හනයේ උණුසුමින්  මුලු ගතම විඩාබරව ගොසින්.
ප්‍රේමයේ සියලු ප්‍රර්තනාවන් එකී නෙක ගිලිහි 
ගෙවුන වසන්තයේ මතක සැමරුම් බවට පත් වන්නට පටන් ගෙන ඇත 
මා ඔබ වෙනුවෙන් තැනු සිහින ලෝකයක් තිබුණා.. 
මම විශ්වාස කරාඔබ ඒ සිහින ලෝකේ මාහා කැටිව සැරි සරතැයි කියා. 
ඒ ලෝකේ කිරුලු පලන් රැජිණිය ඔබම කරන්නට මම බලන් හිටියා..
සියල්ල අවසන් වෙමින් පවතී ............
වසන්තය  අතීතයට එකතු වේවි ...................
ජිවිතයේ තවත් යුගයක් මෙසේ නිමා වේවී ....................

***ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් ශුරින් අතින් ලියැවුණු අසහාය ගයන ශීල්පි ෂෙල්ටන් පෙරේරා විසින්  ගායනා කරනු ලබන මෙම ගීතය යුග යුග ගණනාවක් අප සවන් මිහිරෙන් තෙමු ගීතයක් බව නොරහසකි . ගීතයක විචාරය එය රසවිදින ආකාරය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වේ .  එහෙයින් මේ මාගේ රසවින්දනයයි ........   :)  

Comments

Popular Posts